වකුගඩු රෝගය

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2015 දෙසැම්බර් වන විට අවදානම් ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් සඳහා සිදුකරන ලද පරීක්ෂාවෙන් (Screening) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 20,828 කි. දිස්ත්‍රික්ක වශයෙන් නිදන්ගත වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය වගු අංක 1 මගින් දැක්වේ.

නිදන්ගත වකුගඩු රෝගීන් බහුලව දක්නට ලැබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

  • රෝගයේ ආරම්භයේ සිට වකුගඩු සම්පූර්ණයෙන් අක්‍රිය වීමට දීර්ඝ කාලයක් ගතවේ.
  • හඳුනාගත් රෝගීන්ගෙන් බහුතරයක් අඩු ආදායම් ලාභී ගොවි ජනතාව වේ.

වගුව 1: දිස්ත්‍රික්ක වශයෙන් දැනට හඳුනාගැනීම අනුව වාර්තාගත වූ නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 

දිස්ත්‍රික්කය වැඩි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව
අනුරාධපුරය සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස (22) 9,005
පොළොන්නරුව සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස(7) 4,369
කුරුණෑගල පොල්පිතිගම, මහව, කුරුණෑගල 1,706
මාතලේ විල්ගමුව, ගලේවෙල 1,137
වව්නියා වව්නියාව, වව්නියාව දකුණ හා චෙඩ්ඩිකුලම් 1,684
බදුල්ල මහියංගනය, රිදීමාලියද්ද 943
හම්බන්තොට තිස්සමහාරාමය, අම්බලන්තොට, ලුණුගම්වෙහෙර, සූරියවැව 488
අම්පාර දෙහිඅත්තකණ්ඩිය, මහඔය 468
මොණරාගල තණමල්විල, බඩල්කුඹුර 268
මුලතිව් වැලිඔය, තුන්නුක්කායි 348
ත්‍රිකුණාමලය පදවිශ්‍රීපුර, ගෝමරන්කඩවල 412
එකතුව   20,828

මූලාශ්‍රය – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය (2015 දෙසැම්බර්)

රෝහල් කරා පැමිණීමේදී හඳුනාගත් හා ආයුර්වේද සායන වැනි අනෙකුත් සායන තුළින් මේ වන විට හඳුනාගෙන ඇති මූලය අවිනිශ්චිත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගත හැකිය. මේ හේතුවෙන් මෙම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා රෝගයට හේතුකාරක වන මූලය හඳුනාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ වන විටත් විවිධ පර්යේෂණ මගින්, බලපෑ හැකි බවට හඳුනාගෙන ඇති හේතුකාරක ගණනාවකි. ඒ අතර කෘෂි රසායන අවභාවිතය, අධික කිවුලෙන් යුත් ජලය හා ජලයේ අඩංගු බැර ලෝහ,  අධික උෂ්ණත්වය, සහ ෆ්ලෝරයිඩ් ආදිය වේ.

එබැවින් නිශ්චිත ‍හේතුව හඳුනාගැනීම සඳහා පර්යේෂණ ක්‍රියාමාර්ග වඩාත් ක්‍රමවත් අයුරින් සිදුකිරීම අත්‍යවශ්‍යවේ. එමෙන්ම වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සුභසාධන සේවා විධිමත් කිරීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කිරීමටද ප්‍රමුඛතාවය දිය යුතුවේ. මේ වන විට සිදුකර ඇති පර්යේෂණ මගින්ද තහවුරු කර ඇති පරිදි පිරිසිදු පානීය ජලය හා සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාගැනීම සඳහා පවත්නා අවකාශ අඩුවීමද ප්‍රධාන ගැටලුවක් වන අතර ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම අවශ්‍ය වේ.

මෙම වකුගඩු රෝගයට ගොදුරුවූවන්ගෙන් විශාල පිරිසක් මේ වන විට මරණයට පත්වී ඇත. බොහෝ විට වකුගඩු රෝගයට ‍‍ගොදුරු වී ඇත්තේ ගෘහමූලිකයා බැවින් ඔහුගේ මියයාම තුළ පවුලේ ජීවන තත්ත්වය බරපතල ලෙස කඩාවැටීමකට ලක්වේ. එබැවින් එවන් පවුල් සඳහා සුභසාධන වැඩපිළිවෙළක් සැකසීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍යවේ.

මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය සම්බන්ධව හඳුනාගත් ප්‍රධාන ගැටලු

  • රෝගය හා රෝගයෙන් වැළකීම පිළිබඳව ජනතාවගේ නොදැනුවත්කම.
  • රෝගය වැළඳී රෝග ලක්ෂණ පහළවීමට බොහෝ කාලයක් ගත වීම.
  • මානව සම්පත් හා යටිතල පහසුකම් හිඟය.
  • වකුගඩු රෝගීන්ගේ පවුල්, ආර්ථික හා සමාජයීය වශයෙන් කඩා වැටීම.
  • අවදානම් ප්‍ර‍දේශවල පිරිසිඳු පානීය ජලය හා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර හිඟකම.
  • යාවත්කාලීන වන විධිමත් දත්ත පද්ධතියක් නොමැතිවීම.
  • මූලය නිශ්චිත නොවීම හා තවදුරටත් විධිමත්ව පර්යේෂණ සිදුකළ යුතු අංශ පැවතීම.

මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගය ඇතිවීමට අනුමාන කරනු ලබන හේතුකාරකයන්

  • කෘෂි රසායන අවභාවිතය
  • ජලයේ අන්තරගත ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය හා බැරලෝහ.
  • කිවුල සහිත අපිරිසිදු ජලය නිතර නිතර පානය කිරීම.
  • විජලනය සහ දීර්ඝ කාලයක් තද අව්වට නිරාවරණය වීම.
  • වකුගඩුවලට හානිකරන නීලහරිත  ඇල්ගී සහ සයනො බැක්ටීරියා මගින් නිපදවන   විෂ.
  • සර්ප දෂ්ටනය.
  • වස පානය.
  • වෛද්‍ය උපදේශනයෙන් තොරව වේදනා නාශක ඖෂධ වර්ග අනවශ්‍ය ලෙස භාවිතය.

රෝග ලක්ෂණ

  • ඇඟට දැනෙන අපහසුතාවය.
  • කොන්දේ කැක්කුම
  • මුත්‍රා පිටවීම ක්‍රමයෙන් අඩු වීම
  • කෑම අරුචිය
  • වමනය
  • ශරීරයේ ඉදිමුම
  • හතිය
  • ඇඟ සුදුමැලි වීම
  • රක්තහීනතාවය
  • අධික රුධිර පීඩනය
  • මස්පිඩු දුර්වලතාවය
  • ඇඟ කැසීම
  • සිහි කල්පනාව මද වීම

හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීමටත් වකුගඩු රැක ගැනීමටත් දැනුවත් විය යුතු කරුණු

  • පිරිසිදු පානීය ජලය දිනකට අවම වශයෙන් ලීටර් 3ක් වත් පානය කර විජලනයෙන් වැළකෙන්න.
  • ළිං ආශ්‍රිතව කුඹුක් වැනි ගස් සිටුවන්න.
  • කෘෂිකාර්මික කටයුතු වලදී ආරක්ෂිතව පළිබෝධනාශක හා රසායනික පොහොර අනුමත ප්‍රමාණයන්ට අනුව ඉසින්න. හැකි සෑම විටම කාබනික පොහොර හා ජෛව රසායනික ක්‍රම භාවිතා කරන්න.
  • මත්පැන් හා දුම්පානයෙන් වැළකෙන්න.
  • හැකි සෑම විටම පළිබෝධ නාශක වලින් සහ රසායනික පොහොර ජලය හා මිශ්‍ර වීමෙන් හටගන්නා විෂ ද්‍රව්‍යයන්ගෙන් තොර ආහාර හා ජලය පරිභෝජනයට ගන්න.
  • ආහාර රසවත් කිරීමට කෘතිම රසකාරක භාවිතා නොකරන්න. ඇළුමිනියම් ගෘහ උපකරණ වෙනුවට මැටි බඳුන් භාවිතා කරන්න.
  • ආහාරපාන ඇසිරීමේ දී හා පරිභෝජනයේ දී ප්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් භාජන යොදා ගන්න.
  • දිනපතා ක්‍රමානුකූල ව්‍යායාම වල යෙදෙන්න.
  • වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ භාවිතයෙන් වැලකී, රෝගවලට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
  • මුල් අවධියේදී ම රෝගය හඳුනා ගැනීම (රුධිර ක්‍රියටිනින් ප්‍රමාණය මැන බැලීම සහ මුත්‍රාවල ඇල්බියුමින් පරීක්ෂා කරවා ගැනීම)
  • ඉක්මණින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් රෝගය වර්ධනය පාලනය කළ හැක.

මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගියකු ක්‍රියා කළ යුතු ආකාරය

  • ගුණාත්මක බවින් ඉහළ පානීය ජලය භාවිතා කර විජලනයෙන් වලකින්න.
  • කෘෂි රසායන වලට අනවශ්‍ය ලෙස නිරාවරණය වීමෙන් වැළකීම සහ ඒවා භාවිතය අවම කිරීම.
  • දියවැඩියා රෝගයෙන් අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නම් ඊට ප්‍රතිකාර ගැනීම
  • වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ භාවිතා නොකරන්න. වෛද්‍ය උපදෙස් මත වුව ද මාත්‍රාව, කාලය නිසි ලෙස පිළිපදින්න. දීර්ඝ කාලයක් ඖෂධ භාවිතයේ දී නැවත වෛද්‍ය උපදෙස් ලබාගන්න.
  • දිනපතා ව්‍යායාමවල යෙදීම සහ ශරීරයේ බර අඩුකර ගැනීම.
  • අධික ව්‍යායාමයෙන් වැළකීම, මානසික ආතතියෙන් වැළකීම, මුත්‍රා අනවශ්‍ය ලෙස දරා නොසිටීම (මුත්‍ර පිටවීම අවශ්‍ය වූ විට පිටකළ යුතු ය.)
  • වකුගඩු රෝගයට නිර්දේශිත ආහාර රටාවට හුරුවීම.
  • රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම.
  • වකුගඩු සම්පූර්ණයෙන්ම අකරණයට පත්වූ විට ප්‍රතිකාර ක්‍රම ලෙස රුධිර හෝ පරිතාන කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීම කළ හැක.
  • නිතිපතා වෛද්‍ය සායනවලට සහභාගී වීම.

මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගියෙකු පිළිපැදිය යුතු ආහාර රටා

  • ස්වභාවික පළිබෝධ නාශක හා කාබනික පොහොර භාවිතයෙන් නිපදවන නැවුම් භෝග ආහාරයට ගැනීමත් උතුරා නිවා පෙරාගත් ජලය ලීටර් 1.5 -2 අතර ප්‍රමාණයක් දිනකට පානය කීරීමත් රෝගීන්ට ඉතා සුදුසු ය.
  • ආහාර පිළියෙල කිරීමේ දී අධික ප්‍රෝටීන වලින් තොරව විවිධ පැහැයෙන් යුතු එළවළු එකතුකර ගැනීම. සූදුරු, මහදුරු, කොත්තමල්ලි, එනසල්, කුරුඳු, සුදුළූණු, ගොරකා, සියඹලා වැනි ස්වාභාවික රසකාරක තෝරාගැනීම.
  • තෙල්, පිටි, සීනි අඩු ආහාර රටාවකට හුරුවීම. ලුණු භාවිතය අවම කිරීම සුදුසු ය.
  • තැඹිලි හා දොඩම් වැනි පාන වර්ග පොටෑසියම් අධික බැවින් බීමට සුදුසු නැත. ඒ වෙනුවට රණවරා, කොත්තමල්ලි හා ඉරමුසු වැනි පාන වර්ග බීමට සුදුසු ය.
  • පොස්පරස් සහිත ආහාර ද මත්පැන් ද සම්පූර්ණයෙන් අහිතකරය.